
තුරු වදුළු අතරින් හමා එන සිහිල් පවනක් සේ
ඔබ දැනේ මට මගේ දිවියේ නොදුටු අරුණක් සේ
මතකයන් පෙරලා බලන සඳ ලියූ කවි අතරේ
නොලියු කවියක මුතු අකුරු මත සෙමෙන් ඔබ හිනැහේ
මහා කතරක සොයා ගිය දිය කඳුර හමු නොවිණී
විඩා බරවූ සිත නිවන්නට තැනක් නැත ලැබුණී
සදා මේ දිවි ගමන නිමවන පැතුම වී ගෙවුණී
දිනෙක, මොහොතක දේවතා එළියක්ව ඔබ දිලිණී
විසල් අරමුණු නොමැති දිවියක හබල ගිළිහුණු දා
අඬන්නට තහනම් ලොවක් මැද හොරෙන් වැළපුන දා
බිත්ති හතරක සිරව ගිය රෑ පහන් වුණි නොනිදා
ඔබේ සෙනෙහස සිහිනයක විත් සිරස සිපගත් දා
කියව ගන්නට මෙවන් සෙනෙහස මේ අකුරු මදිවී
පිපුණු මල දෙස බලාගෙන ගෙවු කාලයක් තිබුණී
හිතේ පතුලේ නොනිවි දැල්වුන සෙනෙහෙ මෙය බැවිනී
මලේ පෙතිමත දෙතොල රඳවා සෙමෙන් සිප ගතිමී
අකීකරු කෙහෙරැල්ල පිරිමැද මුදු ඇඟිළි තුඩිනී
මගේ නළලත සෙමෙන් සිප ගත් මොහොත කෙටි බැවිනී
ජීවිතය මට කියා දී මගෙ සඳ මඩළ ලෙසිනී
මවකි, බිරිඳකි, පෙම්වතිය ඔබ, සදා රැක ගනිමී...




