Sunday, October 30, 2011

මවක වී....





තුරු වදුළු අතරින් හමා එන සිහිල් පවනක් සේ

ඔබ දැනේ මට මගේ දිවියේ නොදුටු අරුණක් සේ

මතකයන් පෙරලා බලන සඳ ලියූ කවි අතරේ

නොලියු කවියක මුතු අකුරු මත සෙමෙන් ඔබ හිනැහේ


මහා කතරක සොයා ගිය දිය කඳුර හමු නොවිණී

විඩා බරවූ සිත නිවන්නට තැනක් නැත ලැබුණී

සදා මේ දිවි ගමන නිමවන පැතුම වී ගෙවුණී

දිනෙක, මොහොතක දේවතා එළියක්ව ඔබ දිලිණී


විසල් අරමුණු නොමැති දිවියක හබල ගිළිහුණු දා

අඬන්නට තහනම් ලොවක් මැද හොරෙන් වැළපුන දා

බිත්ති හතරක සිරව ගිය රෑ පහන් වුණි නොනිදා

ඔබේ සෙනෙහස සිහිනයක විත් සිරස සිපගත් දා


කියව ගන්නට මෙවන් සෙනෙහස මේ අකුරු මදිවී

පිපුණු මල දෙස බලාගෙන ගෙවු කාලයක් තිබුණී

හිතේ පතුලේ නොනිවි දැල්වුන සෙනෙහෙ මෙය බැවිනී

මලේ පෙතිමත දෙතොල රඳවා සෙමෙන් සිප ගතිමී


අකීකරු කෙහෙරැල්ල පිරිමැද මුදු ඇඟිළි තුඩිනී

මගේ නළලත සෙමෙන් සිප ගත් මොහොත කෙටි බැවිනී

ජීවිතය මට කියා දී මගෙ සඳ මඩළ ලෙසිනී

මවකි, බිරිඳකි, පෙම්වතිය ඔබ, සදා රැක ගනිමී...

කෙලෙසකද මම ආදරේ.....


නීල ඉඳුවර දිදුල නෙතඟින්
බලන විදියට ආදරෙයි මම
සිනිඳු මුදු ඔබ ලවනතින්
සිපගන්න විදියට ආදරෙයි මම

සතුට මා වෙත රැගෙන එන'යුරු
සීරුවට සෙනෙහෙන් රකින'යුරු
"ආදරෙයි" මට පවසනා'යුරු
ඔබේ විදියට ආදරෙයි මම

ආදරෙයි ඔබ දැවටෙනා විට
සියුම් සීතක් දැනෙයි මා තුල
මගෙම වී ඔබ මගෙ ලඟට වී
ඉන්න විදියට ආදරෙයි මම ......

Crystal Jansen ගේ What I Love About You කවියේ ඡායානුවාදයකි

ඒ ඔබ නිසාමය


මදහසින් අවදි වෙමි

නව දිනට සිනාවෙන් සුබ පතමි

මුළු ලොවම මගේමය

ඒ ඔබ නිසාමය ....

සිත දුකෙන් පිරෙන විට

ඔබ ගැනම සිතන්නෙමි

ඇසිල්ලෙන් සිත පිරෙයි

උතුරනා සතුටකින

සතුටින් පිරුන මා දිවිය

ජීවන සුසුම ඔබමය

ඔබේ සෙනෙහෙන් නැහැවෙන

මගේ ආත්මය ඔබේ මය

නෙත ගැටෙන සොඳුරු සැම දේ

ඇවැසිය ඔබ වෙත ගෙනෙන්නට

දිවි මග අරුත ගෙන දුන්

සොඳුරු සිත ඔබ නිසාමය....

කේට් වුඩ්ඩ්‍රොෆ් All because of you ගේ කවියේ ඡායානුවාදයකි

Saturday, October 15, 2011

ජීවිතය ලද සමනළයා ලියූ කව......


විසල් මෙසිත දිගු නියඟයකට හසුව
ලපල්ලක් පවා මැළවුණු කාලයක
මියෙන්නට වැටුන සමනළයෙකු දකින
අහස් නෙත් කෙවිනි කඳුලැල්ලෙන් තෙමින

"සියුම් සිතෙහි හැඟුමන් අදහන්න බැරී
දුකින් කිමද සතුටක් නම් නැද්ද සකී"
නෙතින් විමසුවෙන් මුනිවත රකින රිසී
සිතින් වැළප ඇතිවග මදනල ද දිටී

සෙමින් පිරිමදින වදනින් දෙඩුවාම
රිදුනු පියාපත් සිඹ සනසන දාට
ගෙවුණු රළු මතක ඇති සමනළයාම
බමන සිත සසල වී වැළපුනි රෑම

තබා ළය මතෙහි සෙනෙහස් දියෙන් දොවා
කවා පොවා මලකට පෙම් බඳින'යුරා
සදා නොලද සෙනෙහස මේ විලස ගෙනා
පතා සිටින දෙය කිවමැන භවය පුරා

සමනළ සිතක සියුමැළි බව හැඳිනීම
එවැනිම සිතක හැර වෙන සිදුවෙද කෝම
මේ රළු වියළි පොළොවට වැසි දිය සේම
නව පලු පත් නැගෙන වස්සානය මේය

වැසිදිය වැටෙන විට වියළුණු දෙතොලතට
මිය යන සිතට දිව ඔසුවක් වෙන කොහිද
මෙබැඳුම නැවුම් ලෙස කියවන මතු දාක
නව අරුතක් නැගෙනු ඇත අප දෙදෙනාට

Friday, October 7, 2011

නදී තෙර වියපත් තුර



දුරයි මට ඔය ගම්දොර
මලක් වී ඔබ හිනැහෙන
සුවඳ රැඳි දෙකම්මුල
සිපගනු කෙදින, කෙළෙසක

සෙනෙහස පිරුනු මේ සිත
ළදරුවෙකු මෙනි ඔබලඟ
වැතිරී ඔබේ උකුළත
දෑසම පියාගනු රිසියෙන

ඔබෙන් ලබනා සහනය
පහන් තරුවෙකි අඳුරක
එයම සෑහේ මට
ඉතිරි කෙටි දුර යන්නට

දිනයක් එතොත් අහඹුව
නළලත බැතින් සිඹිනට
ආදරය එයමය
ඔබ මා මෙලෙස එක්කල

මේ පාළු නදී තෙර
ඔබ හිඳී මා අසලම
අඩ සඳක එළියට
ජීවිතයෙන්ම පෙම්බැඳ

ගිළිහුණු තුරුපතක් ගෙන
තබා ගං දිය මත
නගන මන්දස්මිතය
මුවගට ගෙනෙන සැරහුම

සෙමෙන් ඇදෙනා පවනට
සුසුමක් සෙමෙන් පිඹහල
දිවියම වෙනස කරවන
හැරවුම් ලකුණ ඔබමය

Tuesday, October 4, 2011

බිනර අවසන........


විඩාබර දිවි සැරිය
නිවා සැනහුන දිනක
දයාබර නෙතු සඟල
කතාකළ නිමේෂය

බලාගෙන දිගු කලක්
පතා සිටියෙමි නිතර
පමාවූ වසන්තය
සිනාවෙන් වඩින විට

බිනර සුළඟට දැවුන
ළපල්ලක් ලෙස මැලව
උකටලී වූ සිතින
වැද හෝනා විටෙක

ජීවිතය අහඹුවකි
දෙ අත මත පතිතවුන
මේ මලද අහඹුවකි
වියළි බිම් කඩ නෙලුව

සැලෙන දිගු ඇඟිළි මත
තබා සුවඳම සිඹිමි
මියෙන්නට දිය හැකිද
කඳුළකින් පණ පොවමි

සඳුන් තුරුපත් සිඳින
වදන් අවි දරාගෙන
මිනිස් සේනා නැගෙන
නිම්නයකි අප අවට

අතින් අත ගෙන සරන
මොහොත දඩයම් කරන
ප්‍රාණ සම ම'මිතුරනි
ඉදින් මොහොතක් ඉන්න

සියුම් හදවත් බැඳුන
මේ පෙමට නමක් නැත
මහා පව්කමක් දැයි
ඉතින් මට පවසන්න

පවක් නම් දඬුවමට
මා යටත් කරවන්න
මලේ පෙති සිඳලන්න
එපා අත් ඔසවන්න.

Monday, October 3, 2011

මා දයාබරිය..........

මම ඔබේ හදවත රැගෙන යමි
මගේ පපුතුරෙහි සුරැකිව තබා ගමි

නැත දෙයක් මට ඉන් තොරව
මගේ සෙනේවන්තිය,
මා සැරිසරන්නේ කොහිද?
එසඳ සැරිසරයි ඔබ මා සමග
මා දයාබරිය,
මා කුමක් කළත්?
එය ඔබ කළා වැනිය

සෙනේවන්තිය,
මගේ අවසානය ඔබ බැවින්
මගේ අවසානය ගැන මට බියක් නොමැත
ඔබ මගේ සොඳුරු ලොව බැවින්
මට වෙනත් ලෝකයක් ඇවැසි නැත

පුරපස, අවපස, පුන්සඳ
ඔබමය සොඳුරිය
ගී ගයන හිරුමඬල
ඔබය මා සොඳුරිය

කිසිවෙකු නොදන්නා ගැඹුරු රහස නම් මෙයයි
මුල් අදින මුල මෙයයි
දළුලන අංකුරය මෙයයි
දිවිතුරෙහි දිදුලන අහස මෙයයි
මනසටත් බලාපොරොත්තුවටත් සඟවා ගත හැකි
ආත්මයටත් වඩා වැඩෙන දෙය මෙයයි
තරු වලින් වෙන් කර තබන
විශ්මයද මෙයයි...

මම ඔබේ හදවත රැගෙන යමි
සඟවා එය පපුතුරෙහි

ඊ. ඊ. කමින්ග්ස් ගේ කවියක සිංහල ඡායානුවාදයයි.....